කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සඳහා නව නීති

0
62

NEWSNOW| –  කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සඳහා නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ කෘත්‍රිම බුද්ධිය (AI) අතර සම්බන්ධය පිළිබඳ පර්යේෂණ සඳහා රුපියල් බිලියන 01 ක් ලබන වසරේ වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ මේ වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය නොකිරීම හේතුවෙන් එය ලබන වසරට කල් දැමූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.නව නීති සම්මත වූ පසු ඉදිරි පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(11) මොරටුව බෞද්ධ සමිති ශාලාවේ පැවැති ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ 100 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි. මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ආරම්භ කරන ලද මොරටුව බෞද්ධ සමිති ශාලාව 1925 දී මුල්ගල් තබන ලදී. මෙම සමිතිය ආතර් වී ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් 1924 මැයි 11 දින පිහිටුවන ලදී. ශත සංවත්සරයට ආසන්නව ඇති මොරටුව බෞද්ධ සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව ජනාධිපතිතුමා යළි අවධාරණය කළේය.
ඊයේ පස්වරුවේ මොරටුව බෞද්ධ සමිති ශාලාව වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස දී ආගමික වතාවත්වලට සහභාගී විය. මහා සංඝරත්නය ඉතා සූක්ෂම ලෙස සෙත් පිරිත් සරසවා ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ඊට අමතරව මොරටුව බෞද්ධ සංගමයේ 100 වැනි සංවත්සරය සංකේතවත් කරමින් එම පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමේ උත්සව අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.