ලංකාවේ දක්ෂයින්ට කෙණෙහිලිකම් කරන නිලධාරීන්ට එරෙහිව පියවරක් නොගන්නේ ඇයි?

0
103

NEWSNOW| – ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

 

ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, අපේ රටේ ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙළීමද?

ක්‍රීඩා ඇමති සහ අමාත්‍යාංශ බලධාරීන් මර නින්දේ සිටින්නේ ඇයි?

එළැඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ (27) දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි විය.

ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනිය වන තරුෂි කරුණාරත්න ද ඒ අතර සිටියාය.

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේ පසුවූවාය.

ඒ අනුව ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් විය.

තරුෂිගේ මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7.50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාවෙන් ධාවනය පථයේ ජලය රැඳී තිබුණි.

එහිදි තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙසය.

වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ජලය රැඳී තිබීමත් මත පුහුණුකරු එම ඉල්ලීම සිදුකර ඇත.

ඒ අනුව බලධාරීන් පුහුණුකරුට පවසා ඇත්තේ, වර්ෂාව නොමැති අවස්ථාවක තරගය පවත්වන බවත් පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ද ඉවත් කරන බවත්ය.

එලෙස පොරාන්දු වුවත් බලධාරීන් සිදුකර තිබුණේ, වර්ෂාව මධ්‍යයේම තරුෂිගේ ඉසව්ව ආරම්භ කිරීමය.

එමෙන්ම පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණේ නැත.

ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂිට එය නිමකිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2කි.

නමුත්, තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, සැලසුම් කළ කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවය.

නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණී.

ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනු ඇති.

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හැර තිබේ. එය එසේ කරන්නේ දක්ෂතා ඇති මෙරට දුප්පත් දරුවන් ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසා ද?

තනතුරුවලින් හිස් ැඋදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවැනි ජාතික අපරාධ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here