සිව්වන දිනටත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය නිසා මගීන් පීඩාවට

0
38

NEWSNOW| –  දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද(10) දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බවය.

ඒ අනුව අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්ය.

නමුත් මෙවැනි සාකච්ඡාවක් ගැන තමන්ට දන්වා නැතැයි  ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළේය.

මේ අතර අද උදෑසන කාර්යාල දුම්රිය 47ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ, අද උදෑසන කාර්යාල දුම්රිය 20ක් ධාවනය නොවන බවය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යා දුම්රිය 07ක් ධාවනය කෙරෙන අතර දුරගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here